Jan 23, 2015

ප්‍රේමණීය පුණර්භවය සයවන කොටස - අළුත් දවසක්



            හැම කෙනෙක්ම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. සිතුවිල්ල බොරු පොරොන්දු දෙන්නෙ නෑ. හැම පොරොන්දුවක්ම වගේ ඔන්න ඊළඟ කොටස අරන් ආව. පොරොන්දු ඉටු කරන්න ඉතින් පොඩි කට්ටක් කන්න නම් වෙනව. ඒත් අවුලක් නෑ. මේක සිතුවිලි කියවන්න එන හැම කෙනෙක් වෙනුවෙන්ම සිතුවිල්ල කරන ප්‍රජා සත්කාරයක් නොවැ. දැන් කට්ටිය කියන්න එපා සිතුවිල්ලත් ඡන්දෙ ඉල්ලන්න හදනව කියල. මොකද අපේ අය ඒ වගේ වැඩ වලට නම් අනිත් වැඩවලට නැතත් ගොඩක් දක්ෂයිනෙ. දැන් වෙලාව රෑ 11 :20යි. ඔන්න මේක ලියල තමා අද සිතුවිල්ල නිදාගන්න යන්නෙ. දර්ශි සමන්ත ගැන හිතෙන දේවල්. කතාවෙ මොකක් හරි වැරද්දක් එහෙමත් නැත්නම් වෙනසක් වෙන්න ඕනෙ තැනක් තියෙනව නම් කොමෙන්ට් එකක් දාන්න. බුකියෙනුත් දැන් යාළුවොන්ට කොමෙන්ට් දාන්න අවස්ථාවක් සිතුවිල්ල දීල තියෙනව. ලොග් වෙන්න කම්මැලි නම් google තෝරන්නෙ නැතිව Anonimus තෝරල කොමෙන්ට් එක දාන්න. අගට නම කොටන්න. එහෙම නැතිව කොමෙන්ට් කරා කියල සිතුවිල්ලගෙ කිසිම තරහක් නෑ. අපි කතාවට යමු දැන්.



කුකුලෙක් කෑ ගහනව. සිතුවිල්ලගෙ ගෙදර කුකුල්ලු නෑ නොවැ. ආ සිතුවිල්ලට අමතක වුනානෙ. අපි ඉන්නෙ දර්ශිගෙ ගෙදර කියල. ඒ කියන්නෙ දර්ශිලගෙ ගෙදර කුකුල්ලුත් හදනව. පොඩ්ඩක් ඉන්න. මේ කුකුල අමුතු කුකුලෙක්ද? කුකුල්ලු එක දිගටම කෑ ගහන කුකුල්ලු නෑනෙ. දැනුයි තේරුනේ. මේ පෝන් එකක එලාම් එකක් වෙන්න ඕනෙ. ඔවු හරියට හරි. සද්දෙ නැවතුනු ගමන් දර්ශිගෙ අම්ම දර්ශිගෙ කාමරේ පැත්තට ගියේ ලයිට් ටිකත් දාගෙන. දර්ශිගෙ කාමරේට එබුනු අම්ම
“සුදූ නැගිටින්න”
කියපු අම්ම කුස්සියට ගියා. දැන් දර්ශි නැගිටල ඇති. අපි ගිහින් බලමු. නැත. දර්ශි තවම නිදිය. ගෑණු ළමයින් නින්දෙන් අවදි වූ විගස කෙසේදැයි ගොඩක් දෙනෙක් දන්නව ඇතිනෙ. මූන වටේට කොන්ඩය පිම්බිලා ඇස් චූටි වෙලා හරියට නිකන් චීන ළමයෙක්ගෙ වගේ නැත්නම් ඇස් රතු වෙලා කට දෙපැත්තෙ කුණු කෙල බේරිලා. වැඩිය කියන්න ඕනෙ නෑනෙ ගොඩක් අය දන්නව ඇතිනෙ. සිදුහත් කුමාරයටත් ගිහිගේ දාල යන්න හිතුනෙ ඔය නිදන් හිටපු ගෑණු ළමයි දැකපු වෙලාවෙනෙ. ආ දර්ශි නැගිටින්නයි හදන්නෙ. ආ හිතපු තරම්ම නම් දර්ශි දිහා බලන්න අමාරු නෑ. දර්ශි හොඳ නින්දක් ලබන කෙනෙක් වෙන්න ඕනෙ. එහෙම අය තමා මේ වගේ උදේට නැගිටින්නෙ. දර්ශි නැගිට්ට ගමන් නිදිගැට කඩ කඩ ගියේ ෆෝන් එක ළඟට. ෆෝන් එකේ බොත්තම් දෙකක් ඔබපු දර්ශි ආයෙමත් හිනා වෙලා ගියා. අම්ම තේ එකක් හදල කුස්සියෙ මේසෙ උඩ තියල තිබුන. ඒක හෙමින් හෙමින් බොන ගමන් දර්ශි අම්ම දිහා බලාගෙන කල්පනාවක වගේ හිටිය.
“සූදූ මොනවද කල්පනා කරන්නෙ.”
“මුකුත් නෑ අම්මෙ.”
“ නැත්තම් දැන් ගිහින් පාඩම් කරන්න. තව මාස කීයද තියෙන්නෙ විභාගෙට.”
“හපෝ තව අවුරුද්දකටත් වඩා තියෙනවනෙ අම්මෙ.”
“වාර විභාගෙ මේපාරත් ලකුණු අඩු වුනා මතක නැද්ද නටනට ඉඳල.”
“ඉතින් මට මෙඩිකල් පැකල්ටි යන්න ඕනෙ නෑනෙ අම්මෙ. මට ඕනෙ බයෝ සයන්ස් යන්නනෙ. නැත්තම් අයි ටී පැත්තෙ මොකක් හරි තමා මට හරියන්නෙ.”
“පණ්ඩිත වෙන්නෙ නැතුව ගිහින් පාඩම් කරන්න. නැත්තම් තුන්පාරම ෆේල් වෙන්න තමා වෙන්නෙ.”
දර්ශි කාමරේට ගියා. අපිත් යමු කාමරේට දර්ශි පාඩම් කරනවද බලන්න. පොත අතට ගත්ත දර්ශි පොතේ පිටු හෙමින් සැරේ පෙරලුව. පිටු අතරෙ තිබුනු අකුරු බලන්න. පිලිවෙලට ලස්සනට ලියල. දර්ශිගෙ නිදිමත ඇස් අකුරෙන් අකුරට, වචනෙන් වචනෙට යනව. ඒත් ඒව හිතට යනවද නම් කියල සිතුවිල්ලට සැකයි. දැන් වෙලාව 6ටත් ළඟයි. වෙලාව බලපු දර්ශි රෙදි රාක්කෙන් ඇඳුම් ටිකකුයි ලොකු තුවායයි අරගෙන නාන කාමරේට ගියා. අපිට නම් ඇතුලට දර්ශි ඉද්දි යන්න කොහෙත්ම අවසර නැත. ඒ නිසා අපි කුස්සිය පැත්තට යමු. අම්මට උදවුවට අක්කත් ඇවිත්. දෙන්නත් එක්ක බත් එක නම් හදල මේසෙ උඩ තිවයනව පේනව. තව පරිප්පුත් තව එලවළුවකුත් මේසෙ උඩ. ලිපේ තව එකක් තියෙනව. පිඟන් දෙකකට බත් කොල දාල බත් බෙදල. තව රවුම් භාජනේකටත් බත් බෙදල. මේ දර්ශි ඊයෙ කෑම කාපු භාජනේනෙ. මල්ලියි දර්ශිටයි බත් තුනක් ඕනෙ නෑනෙ. ආ අපිට අමතක වුනානෙ. දර්ශිගෙ තාත්තට ගෙනියන්න වෙන්න ඕනෙ අනිත් එක.
කුස්සිය පැත්තට අඩි සද්දයක් එනව. දුඹුරු පාට සරමකුත් ඇඳගෙන තාත්ත කුස්සියට ආව.
“කෝ සුදු දුව. කාමරේ නෑනෙ.”
“නංගි අද උදෙන්ම ලෑස්ති වෙන්න නාන කාමරේට ගියා.”
“අද පුතාටත් මාත් එක්ක යන්න පුළුවන්. මම උදේ පොඩ්ඩක් වත්ත පැත්තට යනව.”
“පුතා ඇහැරුව නම් හරි නේද? නැත්තම් පුතාට ඉස්කෝලෙ යන්න පරක්කු වෙයි.”
“චූටි ගිහින් මල්ලිව ඇහැරවල එන්න. මම මේක පැහුනම බාන්නම්.”
අක්ක කුස්සියෙන් මල්ලිගෙ කාමරේට යනව. අපිත් යමු. අක්කල ඉන්න අය දන්නව ඇතිනෙ අක්කලගෙන් මල්ලිලට තියෙන කරදර ගැන. ඒවගේම මල්ලිලගෙ අක්කලත් ඇතිනෙ සිතුවිලි කියවන්න ඇවිත්.

“ඒයි කුම්බ කරණය නැගිටිනව. එලිය වැටිල”
කියාගෙන අක්ක කාමරේට ගිහින් ජනේලෙ ඇරිය.
“මොකක් කරනවද මන්දන්නෑ. නිදහසේ නිදාගන්නවත් නෑනෙ.”
“දැන් නිදාගත්ත ඇති මැට්ටෝ...... හ්ම්.. හ්ම්.. නැගිටිනව”
“විනාඩි 5ක් තව....”
“ඉස්කෝලෙ යන්නෙ නැද්ද අද?”
“යනව යනව දැම්ම මොකට ලෑස්ති වෙන්නද?”
මල්ලිගෙ මේසෙ ගාවට ගිය චූටි අක්ක එතන තිබුනු වතුර බෝතලෙන් වතුර ටිකක් අල්ලට දාගත්ත. දැන් වෙන දේ අත්දැකීමෙන් ගොඩක් අය දන්නව ඇති. ඔවු වතුර ටික අක්ක මල්ලිගෙ මූණට ඉස්ස. නිදිමතේ හිටපු මල්ලිගෙ නිදිමත කොහේ ගියාද දන්නෙ නෑ. ඒත් ඊළඟට නම් අක්ක නාන වෙලාවද නැත්නම් අක්ක පැන ගනීවිද. සාමාන්‍යයෙන් අක්කල පැන ගන්නව. ඔවු අදත් මල්ලිය පස්සෙන් එලවන් ගියත් අක්ක දුවල ගියේ කුස්සියට. එතනින් එහාට අක්කට වතුර පාරක් ගහන්න බැරි නිසා මල්ලි අදත් පරාජය බාර අරන් ලෑස්ති වෙන්න ගියා. ආ මේ එන්නෙ දර්ශි. අද උදෙන්ම නාල වගේ. කොණ්ඩ ගස් අග වතුර බිංදු බිංදු එකතු වෙලා.
“චූටි අක්කේ.... ඩ්‍රයර් එක කෝ?”
“මගේ මේසෙ උඩ ඇති”
“කොතනද?”
“වම් පැත්තෙ කණ්නාඩිය අයිනෙම ඇති.”
“හරි හරි තියෙනෝ.”
ඩ්‍රයර් එකත් අරන් දර්ශි කාමරේට ගියා. අපිත් යමු. මුලින්ම සුදු පාට තුවායක් ගත්ත දර්ශි කොන්ඩෙ පිහදාල ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලනව. විනාඩි දහයක් විතර කොණ්ඩෙ වේලපු දර්ශි කාමරේ දොර අඩවල් කරා. අපි දැන් ඇතුලෙ ඉන්න එක හොඳ නෑ. අපි ටිකක් එලියෙන් ඉඳිමු.

හරි කාමරේ දොර ඇරුන. අපි යමු ඇතුලට ආයෙමත්. සුදු පාට ඉස්කෝලෙ ගවුමක් ඇඳගත්ත දර්ශි කාමරේ මුල්ලෙ තිබුණු කණ්නාඩි මේසෙ ළඟට ගියා. එතන තිබුණු කුමාරිකා බෝතලෙන් තෙල් ටිකක් අල්ලට වත් කර ගත්ත දර්ශි ඒ ටික ඔළුවෙ ගා ගත්ත. දැන් අනිත් හැම කෙල්ලෙක් වගේම උදේට කරන්න අකමැතිම වැඩේ තමා ඊළඟට. කොණ්ඩෙ ගොතන එක. ඔවු ඒක දර්ශිටත් එහෙම්මම තමයි. ටිකවෙලාවකින් දර්ශි කොණ්ඩ කරල් දෙකට ගොතල අගට කහ පාට රිබන් පටි දෙකත් ගැට ගහල ඉනේ පටියත් හදා ගත්ත. දර්ශි කුස්සියට යනව වගේ. කෑම කන්න වෙන්න ඇති. ඔවු කුස්සිය‍ට ගිය දර්ශි මේසෙට බෙදල තිබුනු පිගානත් ළඟින් වාඩි වුනා.
“අම්මේ මේ මගේ නේද?”
“ඔවු සදූ. වෑන්ජනත් බෙදල තියල ඇති.”
“අම්මෙ මෙච්චර කන්න බෑ.”
“කමක් නෑ පුළුවන් තරමක් කන්නකො.”
දර්ශි ටිකක් ඉක්මනට ඉක්මනට කෑම කෑව. ඒත් වැඩියි කීවට ඉතිරි වෙලා නම් තිබුනෙ බොහොම පොඩ්ඩයි. මේ අතරෙ නිල් පාට කලිසමයි බැනියමයි ඇඳන් මල්ලිත් ආව කෑම කන්න. දර්ශි එයාගෙ කෑම පෙට්ටියත් අරන් දර්ශිගෙ කාමරේට ගියා. කෑම පෙට්ටිය පොත් බෑග් එකට දාගත්ත දර්ශි ඇතුලෙ තිබුණු පොතක් එලියෙන් තියල වෙන පොත් දෙකක් ඇතුලට දා ගත්ත. ටක් ගාල සපත්තු දෙක මැදගත්ත දර්ශි සපත්තුත් දාගෙන ලෑස්ති වෙලා කණ්නාඩි මේසෙ ලාච්චුවෙන් ගත්ත සෙන්ට් කුප්පියෙන් ටිකක් ඉහ ගත්ත. ‍අම්මටයි තාත්තටයි වැඳපු දර්ශි බෑග් එකත් අරන් බස් හෝල්ට් එක ළඟට ගියා.
ඈත බස් එක එනව. ටිකක් සෙනග හිටියත් වැඩිය නෑ. ඒත් දර්ශි කවුරු හරි හොයනව වගේ. සමන්ත වෙන්න ඕනෙ හොයන්නෙ. දර්ශි බස් එකට පිටිපස්සෙ දොරෙන් ඇතුල් වුනා. ඔවු සමන්ත මැදට වෙන්න සීට් එකක වාඩි වෙලා දර්ශි දිහා බලන් හිටිය. සමන්ත දැකපු දර්ශි සමන්ත ළඟට සෙනග අතරින් ගියා.
“ගුඩ් මෝනින්.”
“ගුඩ් මෝනින්”
“දර්ශි වාඩි වෙන්න.”
කියාගෙන සමන්ත නැගිට්‍ට. ඒත් දර්ශි ඒ ඇරයුම නම් බාරගත්තෙ නෑ.
“අනේ ඔයා වාඩිවෙන්න සමන්ත. සරාල එහෙමත් දැන් නැග්ගම හිටගෙනනෙ”
සමන්ත ආපහු වාඩි වුනා.
“ එහෙනම් බෑග් එක මට දෙන්න තව ගොඩක් දුර යන්නත් තියෙනවනෙ.”
“අනේ ඕනෙ නෑ. මේක බරත් නෑ.”
“කමක් නෑ දෙන්න. සෙනග පිරුනම අමාරුයිනෙ නැත්තම්.”
“ආ එහෙනම් තියා ගන්නකො.”
දර්ශි බෑග් එක සමන්තට දුන්න. සමන්ත බෑග් එක ඔඩොක්කුවෙන් තියා ගත්ත.

අපි අදට කතාවෙන් සමුගනිමු. ආයෙත් තවත් කොටසකින් ඉක්මනටම හමුවෙමු. මේ සැරේ කතාව කියවන ගෑණු ළමයින්ගෙන් සිතුවිල්ලට ගුටිකන්න වෙයිද මන්ද. :O තවත් දෙයක් තියෙනව කියන්න. සිතුවිල්ලගෙ අන්තිම විභාගෙත් ප්‍රතිඵල පිට වුනා. ඔක්කොම සබ්ජෙක්ට් ටික ගොඩ. පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනව. කියවන අය පුළුවන් නම් ඔයාලගෙ හිතේ මේක ගැන ඇතිවෙන සිතුවිලි, මගේ සිතුවිල්ලෙ කොමෙන්ටුවක් විදියට අකුරු කරන්න. ඒ අකුරු සිතුවිල්ල‍ට ගො‍ඩක් වටිනව. ඒ වගේම සිතුවිල්ලගෙ වැරැද්දක් එහෙමත් නැත්නම් හදා ගන්න ඕනෙ තැනක් තියෙනව නම් කියන්න. ඒව සිතුවිල්ල ගොඩක්ම අගය කරනව. එහෙනම් සිතුවිල්ල ගිහින් එන්නම්. හැම කෙනෙක්ටම ජය වේවා.......

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න