Dec 18, 2014

කලකට පස්සේ.....



ඔන්න ආයෙමත් සිතුවිල්ල සිතුවිලි ලියන්න පටන ගන්න කියල හිතුව. කා‍ලයක් එන්න බැරි වුනු නිසා දැන් සිතුවිල්ල අමතක වෙලාද දන්නෙත් නෑ සමහරුන්ට. බ්ලොගියෙ පැත්තෙ එන්න බැරි වෙච්ච ටික කාලෙට ගොඩක් දේවල් වෙන්නත් ඇති අනිත් අයටත්. සිතුවිල්ලත් ගොඩක් වෙනස් වෙලා දැන්. දුක සතුට වෙන්වීම් හමුවීම් මුණ ගැහීම් හැරයාම් ගොඩක් වුනා. සමහර කරපු වැඩ ගැන මට මං ගැනම දුක හිතෙනව. ඒත් ඉතින් මොනව කරන්නද? දැන් ඔක්කොම ඉතිහාසෙට එකතු වෙලා ඉවරයිනෙ. හැම දෙයක්ම අත්දැකීමක් කරගෙන දැන් වර්තමානෙ හොඳින් ජීවත් වෙන එක තමා තියෙන ලොකුම අභියෝගෙ. ඒ වගේම සිතුවිල්ලගෙ බොස් කෙනෙක් පහුගිය දවසක යුග දිවියට ගියානෙ. ඉතින් ඒ යුග දිවියට එළඹුනු මහේෂ් සර් වගේම ශෂිකාට සිතුවිල්ලෙන් උණුසුම් සුභ පැතුම් වගේම සොඳුරු යුග දිවියකට ආසිරි පතනව.


හරි දැන් වටේ ගියා ඇති නැත්නම් ආයෙමත් අදත් වැදගත් දෙයක් දාන්න වෙන්නෙ නෑ. අද ඉඳල සිතුවිල්ල අළුත්ම අළුත් ලස්සන කථාවක් සිතුවිලි පාඨක ප්‍රජාව වෙනුවෙන් ගේනව. ආදරයක පුනරුප්පත්තියක් ගැන කියවෙන මේ කථාවෙ අදහස මීට අවුරුද්දකට විතර කලින් දවසක සිතුවිල්ලෙ හොඳම යාළුවෙක් වෙන රුක්ෂි මගේ ඔළුවට දැම්මත් ඒක ලියන්න වෙලාවක් වගේම සිතුවිලි හිතේ නිදහසක් තිබුනෙත් නැති නිසා කාලයක් තිස්සෙම මේක කල් ගියා. ඒත් දැන් මේක ලියන්න හොඳම කාලෙ කියල සිතුවිල්ලට හිතුන. ඔවු මෙන්න කියවන්න සිතුවිල්ලේ අළුත්ම සිතුවිල්ල........ අත්නොහැරිය ආදරයක පුනරාගමනය, ප්‍රේමණීය පුනර්භවය.

මම දර්ශණී. ගොඩක් අය මට කිවුවෙ දර්ශි කියල. ‍මගේ විවාහෙන් අවුරුද්දකට විතර පස්සෙ මට පුතෙක් ලැබුණ. පුතාට අපි අකිල කියල නම් තිබ්බ. පුතා ලොකු වෙනව බලල මමත් මගේ මහත්තය සුනිල්ත් ගොඩක් සතුටිනුයි කල් ගෙවුනෙ. පුතා ලොකු වෙනකොට එයා තාත්තව මගඅරින්න පටන් ගත්ත. මේ ප්‍රශ්නෙ තව වැඩි වුනේ. එයාට නින්ද යනකම් පුංචි කාලෙ ඉඳන්ම එයාගෙ දකුණු කණ උඩින් මගේ අත තියන් ඉන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි එයා මට කථා කරෙත් දශී කියල. පුතාගෙ වැඩ වලින් මගේ හිත ගොඩක් අවුල් වුණා. එයා තාත්තව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරල මට ගොඩක් ළං වුනා. මේ අතරෙදි මට මගේ යාළුවෙක් කිවුව මේ විදියට පුතා කරන්නෙ සමහර විට මානසික ප්‍රශ්ණයක් නිසාද දන්නෙ නෑ කියල. ඒ නිසා අපි පුතාව මානස සම්බන්ධ දොස්තර කෙනෙක්ට එයාව පෙන්නුව. පුතාව මෝහන ප්‍රතිකාරයක් කරන්න ඕනි කිවුව. අපිත් ඒකට කැමති වුනා.
පුතාව ඇඳක හාන්සි කරවල භාවනාවක් වගේ එකක් කරා. ඊළඟට පුතාව ටික ටික පෙර භවයට අරන් ගියා. එයා පෙර ආත්මය ගැන කිවුවෙ මෙහෙමයි.
“මගේ නම සමන්ත. මම ඉස්කෝලෙ 12 වසරෙදි දවසක් උදේ ඉස්කෝලෙ එනකොට මට ඉස්සරහින් බස් එකෙන් බැහැපු ගෑනු ළමයෙක් ලිස්සල වැටෙන්න ගියා. මම එක පාරටම එයාව අල්ල ගත්ත. ඒත් ඒකෙන් වුනේ මගේ ඇගෙයි එයාගෙ ඇගෙයි මඩ වැදුනු එක. සුදු අඳුම් වල මඩ පාරවල් දුඹුරු පාටට පෙනුන. ඒත් දෙන්නම බිමටම නම් නොවැටි බේරුනා. එයා මගේ දිහා බලල මට නොතේරෙන විදියෙ බැල්මක් මගේ දිහා බලල ගියා. ඒ බැල්මෙ දුකක් වගේම සතුටත් තියෙනව කියල මට හිතුන. ඒ අපේ පළවෙනි හමු වීම. ඒක මට තව එක සිදුවීමක් විතරක් වුනා. සතියක් ගෙවිල ගියා කිසිම වෙනසක් නැතිවම.
මම එදා ඉස්කෝලෙ ඉස්සරහ කඩෙන් පොතක් ගන්න ඇවිත් හිටිය. ඒ වෙලාවෙම ඒ ගෑනු ළමයත් ඒ කඩේටම ආව. මම යන්තම් පොඩ්ඩක් හිනා වෙලා එලියට ආවත් එදා එයාට ඒක මදි වුනා. එයා එලියට ඇවිත් මට පිටිපස්සෙන් ඇවිත් පිටට තට්ටුවක් දැම්ම.
“එදා මාව වැටෙන්න ගියාම අල්ල ගත්තෙ ඔයා නේද?”
“ඔවු”
“එදා මට කතා කර ගන්න වචන ආවෙත් නෑ. අනේ Thank you very much
“ඒකට මොකද අනේ.”
“මට උදවු කරන්න ගිහින් ඔයාගෙ කලිසමෙත් මඩ වැදුන නේද?”
“අනේ ඒකට කමක් නෑ නංගි.”
“අයියෙ ගොඩක්ම තෑන්ක්ස් ඇන්ඩ් සොරි. මට දැන් යන්න ඕනි යාළුවො මං එනකන් බලන් ඉන්නව. බායි”
“බායි.”
ඒ අපේ පළවෙනිම කථා කරපු වචන ටික. ගොඩක් දවස් වල බස් එකේ එකට ආවත් කෙල්ලෙක් එක්ක මුලින්ම තනියම කථා කරේ එදා. මට ටිකක් බයත් හිතුන. වැඩේ නරක අතට හැරුනෙ ඉස්කෝලෙ පන්තියට ගියාට පස්සෙ. යාළුවො මම කථා කරනව බලන් ඉඳල. උදේ තිබුනු විෂයන් දෙක අහගෙන හිටිය මිසක් කිසි අවධානයක් තිබුනෙ නෑ. මං වෙනමම ලෝකෙක අතරමං වෙලයි හිටියෙ. මං ඇත්තටම ඒ ළමය ගැන හිතන්න පටන් අරන් තිබුණ. ඉන්ටර්වල් එකෙන් පස්සෙ ප්‍රැක්ටිකල් තිබුණ. යාළුවො කරන දේවල් දිහා බලන් හිටිය විතරයි මම හිටියෙ එදා වෙනමම ලෝකෙක. යාළුවොන්ගෙ කථා තවත් මාව ඒ ලෝකෙ අතරමං කෙරෙවුව.

අදට මෙතනින් සිතුවිල්ල නවතිනව. තවත් අළුත් කොටසකින් ආපහු මුණගැහෙමු....

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න