මෙච්චර කල් සිතුවිල්ල මොකද කරේ? සිතුවිල්ලට මොකද වුනේ? කියල අහන අයට ඔන්න අද සිතුවිල්ල කොටස් වශයෙන් උත්තර දෙන්නයි යන්නෙ. සිතුවිල්ල මැරිල ඉපදුනාද ඇහන අයට දැන් සිතුවිල්ල ඔවු කියල උත්තර දෙන්න වෙනව. හෑ!! බොලේ මේ සිතුවිල්ලගෙ හොල්මනද එතකොට? නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. සිතුවිල්ල මරණයෙන් ආපහු නැගිටලා ආව. අද සිතුවිල්ල ඒක ගැන.
ඔන්න සිංහල හින්දු අලුත් අවුරුද්දත් ඉවර වෙලා ටික දවසකින් සිතුවිල්ලගෙ කකුල ටිකක් ඉදිමෙනව. ඕක මොකක්ද සිතුවිල්ලගෙ ඔලුව ඉදිමිලා තියෙන හැටියට කකුලක් ඉදිමුණා කියන්නේ ඉතින් හිතන්නත් දෙයක්ද, කකුල හිතන්න ඇති මමත් සිතුවිල්ලගෙ ඔළුව වගේ ඉදිමෙන්න ඕනෙ කියල.
ඔහොම ඉන්නකොට සිතුවිල්ලට කකුල රිදෙන නිසා දොස්තර කෙනෙක් ලඟට ගිහින් කතාව කියල බෙහෙත් ටිකක් ගත්ත. සතියක් ගියා වැඩේ හරියන පාටක් නෑ. සිතුවිල්ල ආපහු ගිහින් දොස්තර මහත්තයව මුණ ගැහුන. ඒපාර නම් ටෙස්ට් ගොඩක් කරල කිව්ව බය වෙන්න දෙයක් නෑ පොඩි විසබීජයක් තමයි සිතුවිල්ලට වද දීල තියෙන්නෙ, ඒකට අපි පොඩි ප්රතිජීවක, ආ එහෙම කිව්වම අවුලක් වගේ නේ. සිංහලෙන් ඇනටිබයොටික් එහෙම නැත්නම් ඇන්ටිබයිටික් කියන්නෙ ඒවට තමා. තව ඉතින් වේදනානාෂක ඒ කියන්නෙ අර පේන් කිලර්ස් කියන්නෙ ඒවත් ටිකක් දුන්න. ආ කකුලත් ටිකක් කලු වෙලානෙ කියල ගාන්න ක්රීම් එකකුත් දුන්න. දැන් නම් සිතුවිල්ලට මාරම සතුටුයි. කකුල බෙරකොටේ වගේ තිබුනට කිසි අමාරුවක් නෑ.
ඔන්න දවස් දෙකකින් විතර සිතුවිල්ලගෙ විපක්සෙන් ඒ කියන්නෙ සිතුවිල්ලගෙ ආදර බර බිරිදෑවගෙන් ඉල්ලීමක් එනව. ආ.... සිතුවිල්ලට කියන්න අමතක වුණා. සිතුවිල්ල කසාදයකුත් කර ගත්තනෙ. සිතුවිල්ලගෙ හිත ගන්න බලාගෙන හිටපු ලළනාවනි සිතුවිල්ලට සමා වුව මැනවි. ඔබලා දැන් ගොඩක් පමා වුණා වැඩියි... සිතුවිල්ල දැන් බැඳල ඉවරයි. ඇති දැන් වටේ ගියා, ආපහු කතාවට එමු. විපක්ෂයේ ඉල්ලීම තමයි කුරුණෑගල හිටපු විපක්ෂයේ යාලුවෙක්ගෙ මෑණියන්ට අවසන් ගෞරව යන්න ඕනෙ, නිකන් නෙමෙයි තව විපක්ෂයෙ සාමාජිකයො දෙන්නෙකුයි කොල්ලෙකුයි. මොනව කියල කරන්නද විපක්ෂය බලවත් වුනාම ආණ්ඩු පක්ෂයට කරන්න දෙයක් නෑනෙ. කියන දේ කරන්න වෙනව. කසාය ජීවිතේ හැටි ඔහොම තමා. සමාවෙන්න කසාය නෙමෙයි කසාද ජීවිතේ හැටි. කසාදෙත් එක විදියකට කසායක් වගේ තමා. රසට වඩා ගුණය ගැන තමා හිතන්න ඕනෙ. ආයිමත් සිතුවිල්ල වටේ යනව. සිතුවිල්ලටත් තාම බැරි වුණා මේ වටේ යන පුරුද්ද නැති කර ගන්න. ඔන්න හවස් වෙලා විපක්ෂ නායක තුමිය ආව කෑම බීමත් අරං ගමනට ඕනෙ කරන. අනිත් තුන්දෙනත් ටිකකින් එනව. කොල්ලෙකුත් ඉන්නව කිව්වට දුරට පේන්නෙ කෙල්ලො තුන්දෙනෙක් වගේ, තුන්දෙනාම කොන්ඩෙ වවල. දෙන්නෙක් නම් ඈතට පේනව ඇඳුම් ඇඳපු කෝටු කිතයියො දෙන්නෙක් වගේ. අනිත් එක්කෙනා ටිකක් ළඟට එනකොට තමා දැක්කෙ පොඩි රැවුලකුත් තියෙනවා කියලා. මූණයි රැවුලයි දෙකම එක පාට වගේ නිසා තමයි සිතුවිල්ල පොඩ්ඩක් ඩාම් ඩූම් කර ගත්තෙ. දැන් සිතුවිල්ලට ටිකක් වයස නිසා දුර පේනවත් අඩුයි. මේ ඇවිල්ල තියෙන්නෙ විපක්ෂයෙ හඬකවන ගුරුතුමයි ගෝලියො දෙන්නයි, ආ හඬකවනව කෑමක් කවන එකක් නෙමෙයි ළමයිනේ, අපි සිංහලෙන් ඩබිං කරනව ඩබ් කරනව කියන්නෙ, අන්න ඒක. ඔය ඉතිං ආයි පටල ගත්ත, අබිං නෙමෙයි මේක ඩබිං. ඔන්න කොහොමෙන් කොහොම හරි සිතුවිල්ල ඇතුළු පිරිස ගමන ආරම්භ කරා. ඔහොම ගිහින් ඔන්න මගින් හොඳට කාල මීරිගමින් අධිවේගී පාරට දාල කුරුණෑගලට ගියා.
සිතුවිල්ල හිතුව ඉතින් තව ටික දුරයිනෙ ඉක්මනට යන්න පුළුවන් වෙයි කියල, සිතුවිල්ලට වැරදිලා ළමයිනේ, තව යන්නට දුර බොහොමයි. රේල් පාරවල්, කඳු පල්ලම්, වැව් අමුණු, පාලන්, බෝක්කු ගානක් පහු කරන් ගිහින් ඔන්න හැරෙන්න කියපු ගහ ළඟින් හැරිල වල ගොඩැලි වලින් අඩුවක් නම් කියන්න බැරි තරම් සුපිරිම පාරක යනකොට ඔන්න වාහනේ දැම්ම ගෙදරක. ඒ වූනාට ඒ ගෙදර මල ගේක පෙනුමක් නෑ. ඉස්සරහ දොරත් වහල. ආ හරිනෙ තව දුර යන්න තියෙනව පයින්. ලොකු දුරක් නෙමෙයි, යාර දෙසීයක් විතර දුර. ඔන්න ඉතින් කට්ටිය හෙමින් හෙමින් මලගෙදරටත් ආව. සිතුවිල්ලට ලොකු මහන්සි ගතියක් දැනෙනවා මාර අවුලක්. හැතැප්ම ගණන් පයින් ඇවිදින සිතුවිල්ලට මේ පොඩි දුර ඇවිදල හතියි. මාරම අවුලක් ඒක. සිතුවිල්ල ටිකක් වාඩිවෙලා ඉඳල මාරි බිස්කට් දෙකයි තේ එකයි බීල ටිකක් එහෙමම නිදා ගත්ත. මාරි බිස්කට් කියන්නේ ලංකාවට ගොඩක් සම්බන්ධ රාජකීය කෑමක්. වික්ටෝරියා රැජිණගෙ පුතාට රුසියාවෙ අධිරාජයගෙ මාරි කුමාරිව බඳින එක වෙනුවෙන් එහේ බේකරියකින් සිලෝන් ටී, ඒ කියන්නෙ ලංකාවෙ තේ එක්ක බොන්න විශේෂයෙන්ම හදපු බිස්කට් වර්ගයක්. ඒකනෙ මොන කොම්පැනියෙන් මාරි හැදුවත් ඒක වටේට රුසියානු රටාවක් වුනු කොටු සපත්තු පේලියක හැඩේ රටාවක් දාල මැද මාරි කියල ගහල තියෙන්නෙ.
ඔන්න දැන්නම් සිතුවිල්ලට ටිකක් විතර හොඳයි. රෑ දහයෙ කනිසමට විතර ඔන්න කට්ටිම ආපහු එන්න පිටත් වුනා. සිතුවිල්ලට ඒත් වාහනේ කිට්ටුවට එනකොට ආයිමත් හොඳටම මහන්සියි. ඇවිදින්නත් බෑ කලන්තෙ දාන්න යනව වගේ. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා කියලා කතාවක් තියෙනවනේ. සිතුවිල්ල එතනම බිම ටිකක් වාඩිවෙලා ඉන්න කොට ළඟ ගෙදරක එක්කෙනෙක් පුටුවක් ගෙනාව. සිතුවිල්ල ඉතින් ඒකෙ වාඩි වෙලා වතුර ටිකක් බිව්වා. දැන් හරි. ආපහු වාහනේට ඇවිත් පොඩි වෙලාවක් ඇල වෙලා නිදා ගත්ත. හරි, දැන් නම් අමාරු ගතියක් නෑ. ආපහු අපි කුරුණෑගල පැත්තට ආව. එනකොට වික්ක මල්ලිත් අපි එක්ක ආව. වික්ක මල්ලි කිව්ව කෝකටත් අපි දොස්තර කෙනෙක්ට පෙන්නල යමු කියල. කුරුණෑගල තියෙන සමූපකාර රෝහලට අපි ගිහින් පෙන්නුව. හම්මා. සිතුවිල්ලගෙ රුධිර පීඩනේ, ආ සිංහල වචනෙ බ්ලඩි ප්රෙසර් එක හොඳටෝම අඩු වෙලා. ඉක්මනටම ඉස්පිරිතාලෙට යන්න කියල කිව්ව. එහෙම්ම සිතුවිල්ලව කුරුණෑගල ඉස්පිරිතාලෙට අරන් ආව. දොස්තර කෙනෙක් බලල සිතුවිල්ලව වාට්ටුවකට යවනව සිතුවිල්ලට මතකයි.
එතනින් පස්සෙ වටේ කළුවර වෙලා ආපහු සුදු පාටට හුරු එලියක් වැටුණ. ඒ එක්කම සුදු පාටට හුරු රත්තරන් වලින් මහපු ඇඳුම් ඇඳගත්ත ගෑණු ළමයි දෙන්නෙක් පාවෙලා වගේ මගේ ළඟට ඇවිත් මාව අරන් ගියා. ඔහොම ටිකක් යනකොට වටේ හරි ලස්සන තැනකට සිතුවිල්ල ආව. අර දෙන්නගෙන් එක්කෙනෙක් සිතුවිල්ල එක්ක කතා කරා. මෙතනින් ඉන්න, මේ ඔයාගෙ තැන කියල හිනා වෙලා ගියා. එයාල කතා කරාට කට හෙලවෙන්නෙ නෑ. ඇස් වලින් කතා කරන්නේ. අනේ මන්ද සිතුවිල්ල දැන් තමයි දැක්කෙ, සිතුවිල්ලත් පාවෙනව කියල. ඒ කියන්නෙ සිතුවිල්ල හොක් ගාල ගිහින්ද? හම් උත්තරේ ඔවු. සිතුවිල්ල හොක් ගාල ගිහින්.
දැනට මේ ඇති. ඉතිරි ටික, ඒ කියන්නෙ ආපහු පණ ආපු ටික ඔන්න ඊළඟ පෝස්ට් එකේ බලන්න...
0 ක් ප්රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:
ඔබේ අදහසත් එකතු කරලම යන්න..
ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...