Apr 15, 2013

පින් මද වුණිද මන්දා...

සිතුවිල්ලට පොඩි කථාවක් ලියන්න හිතුන. පොඩි ආදර කථාවක්. කියවල ඉවර වෙලා පොඩ්ඩක් හිතල බලන්න. මේක කථාවක් කිවුවට ඇත්තටම ලියුමක්. සොඳුරු ප්‍රේම කථාවක අවසානයේ ප්‍රේමවන්තය තමන් හැර ගිය ප්‍රේමවන්තියට ලියන ලියුමක්. සිතුවිල්ල හිතට ආපු බනී කියන නම ප්‍රේම වන්තියට දැම්මට කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනව.

***********************************************

**/**/****
තෙරුවන් සරණයි,
ආදරණීය බනී,
මේ ලියුම මම ඔයාට ලියන 51වෙනි ලියුම. ඒත් මේ ලියුම මම ඔයාට මෙච්චර කාලෙකට දෙන වෙනස්ම එකක් වෙයි. ඇයිද කියනව නම් ඉස්සෙල්ල ඔයාට ලියපු ලියුම් 50ම ලිවුවෙ අපි දෙන්න අතරෙ අසීමිත ආදරයක් එක්කයි. ඒත් අද මම මේක ලියන්නෙ හිතේ දුක පුරවගෙන. ඒ ඔයා මාව අතහැරිය කියන දුක නිසා නම් නෙමයි රත්තරනේ ඔයා නොදැනම ඔයාගෙ අනාගතයම විනාස කර ගන්න යනව කියල දැක දැක මට හිනා වෙන්න තරම් ශක්තියක් මට නැති නිසා.  අද ඔයා මගේ ගාව නැතත් ඔයා මගේ හිතේ හැමදාම ඉන්නව. ඒක ඔයාට සමහර විට තේරෙන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ තිබුණද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඇස් වහන වහන වාරයක් පාසා ඔයා මගේ ඉස්සරහ මැවෙනව.

මීට අවුරුදු දෙකකට ඉස්සර අපි දෙන්න අපිව අඳුරන්නෙ හොඳ යාළුවො දෙන්නෙක් විදියට. ඒ යාළුකම පොඩ්ඩ පොඩ්ඩ ලියලාල අපේ හදවත් වලට මල් සරා විද්ද ඊතලයක් වැදුන. 12 වසරෙ විභාගෙ ඉවර ‍වෙලා කලින් ඉස්කෝලෙ ඇරපුවම අපි දෙන්න කථා කර කර ඉඳල මම කොටුවට යමුද කියල ඇහුවම ඔයා ඒකට කැමති වෙයිද කියල මම එදා ගොඩක් බයෙන් හිටියෙ. ඒත් ඔයා එදා කැමති උනා. මට එදා අද වගේ මතකයි. මුලින්ම
“මට නම් බෑ කොල්ලො එක්ක රවුම් ගහන්න“
කියල  කියපු හැටි. ඒත් යාළුවො දෙන්නත් එක්ක එන්න ඔයා එදා අන්තිමට කැමති කර ගන්න මට පුළුවන් උනා. ඒත් එක කොන්දේසියක් උඩ.
“ඔන්න පැයකට වඩා ඉන්න බෑ එහෙනම්.“
ඒත් ඔයාත් එක්ක එදා 1.00 වෙනකම්ම කොටුවෙ ඇවිද්දත් මගේ හිතේ තිබුණු දේ ඔයාට කියන්න මට බැරි වුනත් ආපහු එන ගමන් ස්ටෑඩ් එකේ CTB බස් එකේ හාමුදුරු සීට් එකට සීට් දෙකක් පස්සෙන් තිබුණු සීට් එකේ දි මගේ හිතේ තිබුණු දේ ඔයාට කියන්න පුළුවන් උනා. ඔයා දුන්නු උත්තරේ මම බලාපොරොත්තු වුනු එකම වුනා.
“අයියෙ මම අයියගෙ යාළුවෙක්. එක පන්තියෙ එකට ඉගෙන ගන්න කෙනෙක්. අයිය ඔහොම දෙයක් අහයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. මට බෙනී අයියට දෙන්න උත්තරයක් හිතා ගන්න බෑ. අයියට මම කල්පනා කරල උත්තරයක් දෙන්නම්.“
එදා රෑ ඔයා මට මොන ව‍ගේ උත්තරයක් දෙයිද කියල කල්පනා කරා මිස කිසිම වැඩක් කරන්න වුනේ නෑ.ඊට සතියයි දවස් දෙකකට පස්සෙ ඔයා මට කැමතියි කියල යාළුවෙක්ගෙ අතේ පණිවිඩයක් එවල තිබුණ.

එහෙම පටන් ගත්තු අපේ ආදරේ සීමා මායිම් අපි හොඳට අවබෝධයෙන් හිටිය. ඔයාව මම මලක් වගේ පරිස්සම් කරා. ඔයාගෙ හදවත උතුරල යන්න මගේ ආදරය දුන්න. මගේ හා පැටික්කි යන හැම තැනකම මම හෙවනැල්ලක් වගේ හිටිය. ඔයාට මාව, මට ඔයාව නැතුව ජීවත් වෙන්න බැරි තැනටම ආදරේ කරා. අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියල මට දැනුන. අපේ විභාග කරල අපි කොළඹට ආවෙ අපේ අනාගතේ හදාගන්න පාරක් හදා ගන්න. ඔයයි මමයි උදේට එකට ගිහින් හවස එකටම ආව. ඒකට අපි දෙන්නගෙ නැවතිලා හිටපු තැන් කිට්ටුව වුනු එක ලොකු උදවුවක් වුනා.

මේ අතරෙදි තමයි ඔයාට සකිනි මුනගැහුනෙ. එයා මම හිතුවෙත් ඔයාට හොඳ යාළුවෙක් වෙයි කියල ඔයා එයා ගැන කියපු දේවල් වලින්. ඒත් වැඩි කල් නොගිහින්ම එයා එච්චර හොඳ චරිතයක් නෙමෙයි කියල මට පෙනුනත්. මම ඔයා එහෙම වෙන එකක් නෑ කියල මට විස්වාසයක් තිබුන. ඒත් ඔයා එයාගෙ බෝයි ගැන කියපු දේවල් වලින් ඔයත් වැරදි පාරකට යන්න ළඟයි කියල තේරුනා. ඒකයි මම ඔයා එයාගෙන් ඈත් කරන්න හැදුවෙ. නැතුව ඔයා හිතුව වගේ ඔයා මට විතරක් කොටු කර ගන්න නෙමෙයි. ඒ ඔයාට මගේ තිබුණු ආදරේ නිසා ඔයාට නපුරක් වෙනවට මම අකමැති වුනු නිසයි. ඒත් අන්තිමට ඔයත් ටික ටික එයාගෙ පාරට වැටුන කියල මට ඔයා කරන යෝජනා වලින් හොඳට තේරුණා. ඒවට මම අකමැති උනේ මට ඔයාව ගොඩක් වටින නිසයි. ඔයා තරම් වටින වස්තුවක් මට නෑ. මට ඔයාව රූම් එකකට එක්කන් ගිහින් ඔයා ගෑනියෙක් කරන්න බැරි කමක් තිබුනෙ නෑ. ඒක කරන්න තිබුණු එකම බාධාව මම ඔයාට හදවතින්ම ආදරය කරපු එක. 

සකිනි අක්ක යාළු වෙලා ඉන්න බෝයිගෙ යාළුවෙක් එක්ක ඔයා යාළු වුනා කියල මම හොඳටම දන්නව. ඒවගේම ඔයා එයා එක්ක කොහෙද යන්නෙ මොනවද කරන්නෙ කියලත් මුළු ******* එකම දන්නව.ඔයා ගැනත් කොල්ලො සකිනි අක්ක ගැන බලන විදියටම බලන්න ගන්න දවස වැඩි දුරක නෙමෙයි කියල මට හොඳට තේරෙනව. ඒක ඔයාට නොතේරෙන්නෙ ඔයා ලැබෙන හැඟීමට වහල් වෙලා නිසා. ඔයා ඒක තේරුම් ගන්න දවසට ඔයාට ආපහු හැරිල එන්න බැරි තරම් දුර ගිහින් ඉඳීවි. ඒත් මේ ඔයාගෙ බෙනී අයිය ඔයාව ඕනෙම තත්වෙකින් බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නව කියල අමතක කරන්න එපා.

මීට,
ඔයාගෙම වෙලා හිටිය, තවමත් ඔයා වෙනුවෙන් ඉන්න,
බෙනී අයියා..
*************************************************


මේ කතාවෙ එන චරිත සහ නම් සියල්ල මනඃකල්පිත වන අතර හිතවතෙකුගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කරගෙන ලියන ලදී.

මේ වගේ ආදර කථා අපේ සමාජෙ ඕනෙ තරම් ඇති. තරුණ කාලෙ ඇතිවෙන හැඟීම් පාලනය කර ගන්න බැරිව තමන් වෙනුවෙන් ඇත්තටම ඉන්න අය අත්ඇරල සල්ලාලයන් වෙත යන අක්කල නංගිල පොඩ්ඩක් හිතන්න. තමන් මේ ඉන්න තත්වෙට ගේන්න ඔයාලගෙ අම්ම, තාත්ත, ගුරුවරු, වැඩිහිටියො, යාළුවො කොච්චර මහන්සි වෙන්න ඇතිද? තමන් කොච්චර මහන්සි වෙන්න ඇත්ද? ඒ මහන්සිය නිකම්ම දියවෙලා ගියොත් ඒ අයට ඒ දුක දරා ගන්න පුළුවන් වෙයිද? ඔයාට කියල අනාගතයක් තියෙයිද? වැරදුනු ජීවිතේ ආපහු මුල ඉඳන් පටන් ගන්න සමාජෙ ඉඩ දෙයිද? අන්තිමට හැමදාම සල්ලාලයින්ට තමන්වම විකිනේන වෙයිද? එහෙමත් නැත්නම් හයක් හතරක් නොතේරෙන අත දරුවෙක් එක්ක මේ ලෝකෙ තනි වෙයිද? නැත්නම් මෙච්චර අමාරුවෙන් ලුබුණු මනුස්ස ජීවිතේ අතඇරල ඊළග ලෝකෙට යන්නද? පොඩ්ඩක් හිතන්න.

ඒ වගේම ගෑණු ළමයෙක් කියන්නෙ දෙයියො පිරිමින්ට සතුටුවෙන්න මවපු සෙල්ලම් බඩුවක් නෙමෙයි. ගැහැණිය කියන්නෙ ලෝකෙ ඉස්සරහට ගෙනියන හස්තයක්. එයා වගේම කෙනෙක්ම නේද ඔයාලත් මේ ලෝකෙට ගෙනාවෙ නේද? ඔයාලගෙ අක්ක, නංගි, දුව, ඔයාගෙ ආදරවන්තියට ඒ වගේ දෙයක් වෙනවට ඔයා කැමති වෙනවද? ඒ වගේම අනිත් හැම ගෑණු ළමයෙක් ගැන උනත් ඒ තමන්ගෙ නංගි, අක්ක, දුව උනා නම් එයාට ඔයා කරන්න යනදේ හරිද කියල හිතන්න. ඒක අපේ රට ලස්සන රටක් කරාවි.

ප.ලි.- මේක මගේ අත්දැකීමකට කිසිසේත්ම සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න. මාහට මෙවැනි අත්දැකීමක් මේ වන තුරු ලබී නැත. මෙය හුදෙක් මාගේ හිතවතෙකුගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ගොතන ලද්දකි. මෙයට පාදක වූ ස්ථාන ගැලපෙන පරිදි වෙනස් කර ඇත.

2 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න