Mar 14, 2013

නොදුටු අරුතක්

අද ගෙදර ආව එන ගමන් අතරමඟදි දැකපු දෙයක් එක්කම ඇහුණු සින්දුවක් මට මේ පෝස්ට් එක දාන්න කියල මගේ හිතට කිවුව. අපි අතරෙම ජීවත් වෙන සල්ලි තියෙන ධන කුවේරයාගෙ ඉඳන් හැම කෙනෙක්ම තමන් ඉස්සරහ දණ ගස්සවන අයෝමය මිනිස්සු කොට්ඨාශයක් ගැන. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම බොහොම නරක රැකියාවක් කියන ගණිකාවන්. ගොඩක් දෙනෙක් මේ රස්සාවට තමන්ගෙ කැමැත්තෙන් එන්නෙ නෑ. මිනිස් සමාජෙ තියෙන දරුණුකම එයාල ඒ තත්වෙට පත් කරනව කියල කියන එක ගොඩක් අය නොදකින පැත්තක්. ඒත් මම අද කියන්න යන්නෙ එහෙම සමාජ ක්‍රමයෙ වැරදි හදන කථාවක් නම් නෙමෙයි.


මේ සින්දුව පොඩ්ඩක් කියවන්න. මේකෙ කියන්නෙ මොන වගේ කථාවක්ද කියල හිතන්න.
______________________________________________________________________
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී.....

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බිංදූ..
ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..


සඳකඩ පහනක......


හදවිල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා...
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා...
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටම් මැදුරක කඳුලු අරා...
රුවන් විමානේ පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා..
පොපියන හදවත සිටියි බලා..

ගායනය:- සුනිල් එදිරිසිංහ
______________________________________________________________________


මේ සින්දුවෙ සැමියා නැති ඒ වගේම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් සඳකඩ පහනකට උපමා කරල සින්දුව ලියල තියෙනව. ඒත් සඳකඩ පහනක් කියන්නෙ අපූරු නිර්මාණයක්. මෙහෙම තනිකඩව ඉන්න ගැහැණිය සොයාගෙන පාවෙන දේදුනු වගේ මිනිසුන් එනවා. ඒ මිනිසුන් හා ලබා ගන්නා රසය ගැන ඒ දෙදෙනා අතර බැඳීමක් ඇති වෙනව. ඒ වුනත් ලස්සන අනගි නිර්මාණය පයට පෑගෙනව වගේම ඒ ගැහැණියත් සමාජයේ ගැරහුමට ලක් වෙනව.

මේ විදියට දුර දිග ගිය මේ අනියම් සම්බන්ධයන්ගෙන් කාලයත් එක්ක මේ අම්ම ගණිකාවක් බවට පත් වෙනව. ඒත් දරුව ගෙදර තනි වෙනව. කැකුලක් කියල තියෙන්නෙ මේ දරුව ගැන. මේ ගණිකාව ඇසුරු කරන මිනිස්සු රහසේ කරන මේ දේ තව තවත් අය අතරෙ කියන්නෙ බොහොම රහසින් වුනත් මේක මුළු සමාජයම දන්නා රහසක් බවට පත් වෙනව. ඒත් තමන්ගෙ දරුවා ගැන ආදරයෙන් මේ දේ දිගටම කරන් යන්නෙ වෙන දෙයක් කරන්න නැති නිසයි. එකෙක් පස්සෙ එකෙක් එන අයගෙ ආශාවන් පිරි මහන මේ කාන්තාවට සිදු වෙනව.

ඒත් තමන්ගෙ රැකියාව තමන්ගෙ දරුවට වෙන අවමානය නැති කරන්න දරුව ව වෙන දුර පෙදෙසකට යවන්න තරම් මේ අම්මට සිදු වෙනව. දරුව ගැන අම්මාගේ දුක මේ ලෝකය දකින්න තරම් මේ ලෝකෙ සුන්දර වෙලා නෑ. ඒක හරියට මහ සාගරයට කඳුළු බිංදුවක් වගේ. කාන්තාවට උරුම වුනු රිදුනු තැලුණු ජීවිතය අතර තමන්ගේ දරුව හොඳට ඉගෙනගෙන තමන් මේ උගුලෙන් බේර ගනීවි කියල බලාගෙන ඉන්නව.

දැන් සින්දුව පොඩ්ඩක් අහල බලන්න මේ සින්දුවෙ මේ කථාවත් තියෙනව නේද කියල....



      “ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
               රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....“

හිතල බලන්න අපි අතරෙත් මෙහෙම අය කොච්චර නම් ඇත්ද. ඒත් අපි කවුරුත් නොදැන එයාල ජීවත් වෙනව. ලස්සන චරිතයකට පණ දෙනව. ඒත් ඒ චරිතෙ ඇතුල කොච්චර දුක් පිරුණු එකක්ද කියල ඔයාලම හිතල බලන්න. මම දුන්නු මේ තේරුම කොච්චර දුරට හරිද කියල මම දන්නෙ නම් නෑ. මමත් මේ සින්දුව ඒ දැකපු සිද්ධියක් එක්කම නොදැක්ක නම් මට තවමත් මේක විරහ ගීතයක් විතරයි. දැනට සිතුවිල්ල නවතින්නම්. ජය වේවා...

2 comments:

  1. අම්මට සිරි.. කෙතරං කාලෙකට පසුවද?

    ReplyDelete
    Replies
    1. ඔවු අවුරුද්දකට ළඟයි. දැන් ආයිත් බ්ලොග් එකට ලියන්න ටිකක් වෙලාව ලැබුණ.

      Delete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න